2019 ජුලි 31
දයාබර NDES සොයුරනි/සොයුරියනි,

මේ දක්වා අධිකරණ ක්‍රියාවලියේ සංක්ෂිප්තය

NDES පාඨමාලාව මතු පරපුර උදෙසා සුරක්ෂිත කිරීමටත්, වර්තමාන ශිෂ්‍යයින්ගේ අධ්‍යපන අයිතිවාසිකම් සුරැකීම උදෙසා NDES ශිෂ්‍ය සංගමය සහ අප ආදී විද්‍යාර්ථිකයින්ගේ සංගමය (NDES Alumni) එකතුව අභියාචනාකරනය ඉදිරියේ 2019 මාර්තු මස 12 වන දින නඩුවක් පැවරූ බව ඔබ සැම දන්නා කරුණකි. මෙහිදී මුලික විත්ති පාර්ශවය ලෙස NAITA පාලනාධිකාරිය නම් කරන ලද අතර TVEC සහ IIESL ආයතනයද සෙසු විත්ති පාර්ශවයන් ලෙස නම් කරන ලදී.

මෙම අධිකරණ ක්‍රියාවලියේ මුලික අරමුණ වුයේ, ශ්‍රිලංකාවේ දැනට ස්ථාපිත ඉංජිනේරු සභා පනත (Engineering Council Act) අනුව අපගේ පාඨමාලාවේ අනාගතය සුරක්ෂිත කිරීමයි. දැයට විශිෂ්ටයන් දහස් ගණනක් බිහිකළ අප පාඨමාලාව NAITA පාලනාධිකරනයේ අත්තනෝමතික ක්‍රියාකලාපය සහ IET පාලනාධිකරනයේ ඇති දුර්වලතාවයන් නිසා දිනෙන් දින ආගාධයට වැටුණි. මෙය වැළක්වීමට කොතෙක් උසාහගත්තද දේශපාලන හස්තයන් ගෙන් පත්වන NAITA සභාපතිවරුන් සහ ඔවුනට කත් අදිනා NAITA පාලනාධිකාරියේ නිලධාරින් විසින් NDES පාඨමාලාව දිනෙන් දින විනාශ මුඛයට ගෙන යන ලදී. අප පාඨමාලාවට සමගාමිව ඇති NDT (ITUM) සහ HNDE (SLIATE) යන පාඨමාලා දිනෙන් දින ඉදිරියට යද්දී, අප පාඨමාලාව එකතැන පල්වෙන්නට විය. ඔබ සැම දන්නා පරිදි NDES පාඨමාලාව, ඉංජිනේරු සභා පනත සමග අනුකුල වෙමින් ජාත්‍යන්තර සිඩ්නි ප්‍රඥප්තියට (International Sydney Accord) ට අනුකුල වීමට නම් අප පාඨමාලාව නව්‍යකරණය කළයුතුය. එසේ නොවුණහොත් අප NDES පාඨමාලාව ඉංජිනේරු සහා පනන්නේ පහළම මට්ටම වන technician ගණයට ඇද දැමීමේ උත්සාහයක් මෙම අවදානමක්ද මතුව තිබිණ.

ඔබ මේ වනවිටද දන්නා පරිදි ඕස්ට්‍රියානු රජයේ ආධාර ඇතිව අප පාඨමාලාව නව්‍යකරනයට මිල කල නොහැකි අවස්ථාවක් උදාවන්නේ ඒ අතරය. විද්‍යාගාර සහ දේශනශාලා නවීකරණය කරන අතරම අපගේ syllabus එකද යාවත්කාලීන කිරීමට අවස්ථාවක් උදාවිය. මෙම මහඟු අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින්, NDES පාඨමාලාව Sydney Accord එක අනුව යාවත්කාලීන කරන ලෙස අප සංගමය විසින් IET පාලනාධිකරණයට සහ ඕස්ට්‍රියානු ආධාර ක්‍රමයේ ව්‍යපෘති අධ්‍යක්ෂකවරයාට ලිඛිතව දැනුම් දෙන ලදී. එලෙසම අප සංගමයේ මැදිහත්වීමෙන් IIESL ආයතනය හරහාද මෙය දැනුම් දෙන ලදී. නමුත් අප සැමගේ අවාසනාවට ඒ සියලු පාර්ශවයන් එම ඉල්ලීම් මගහරිමින් කාලය ගතකරන්නට විය.

ඉහතින් දැක්වූ කරුණු කාරණා සහ ශිෂ්‍ය බදවාගැනීම් එකවර දෙගුණ කිරීමේ අතනෝමතික ක්‍රියාවලිය නිසාවෙන් නිතැතින්ම අපහට අධිකරණ ක්‍රියාවලිකට යාමට සිදුවිය. 2019 මැයි මස 2 වන දින මුල්වරට අභියාචනාධිකරණය ඉදිරියේ මෙම නඩුව විභාගයට ගන්නා ලදී. එහිදී 7වන පාර්ශවය වන IESL හැර සෙසු සියලු රජයේ ආයතන වෙනුවෙන් රජයේ නීතීපති දෙපාර්තමේන්තුව පෙනී සිටින බව දන්වන ලදී. මෙම නඩුව 2019 මැයි මස 8 වන දින දෙවනවරට කැදවූ අවස්ථාවේදී, NAITA ආයතනය සදහා ඒ වනවිට අධ්‍යක්ෂ මණ්ඩලයක් පර නොමැති බැවින් NAITA සභාපතිවරයාට නීරණයක් ලබාදිය නොහැකි බවත් මීළග නඩු වාරයේදී එනම් ජුනි මස 28 දින පැමිණිලි පාර්ශවයෙන් එකඟතාවය අනුව joint motion එකක් ඉදිරිපත් කරන බව දන්වන ලදී.

ඒ අනුව 2019 මැයි මස 24 වන දින නඩුවේ සියලුම පාර්ශවකරුවන්ගේ සහභාගීත්වයෙන් කොළඹ Light House Gallery හිදී සාකච්ඡාවක් පවත්වන ලදී. එහිදී අප නීතීවේදීන් විසින් ගොනුකළ මූලික කරුණුවලට, බදවාගැනීමේ ක්‍රියාවලියට හැර සෙසු කරුණු වලට NAITA සහ TVEC නියෝජිතයන් විසින් එකඟතාව පළකරන ලදී. වෙහෙසකරවුත් දුෂ්කරවුන් ක්‍රියාවලියක් අවසානයේ අප කරුණුවලට ඉහත සියලු පාර්ශව එකග කර ගැනීමට අපට හැකිවුණි. නමුත් ඊළඟ නඩුවාරයට පෙර දින TVEC සභාපතිවරයා විසින් ගොනුකළ විරෝධතාවයක් නිසා නැවත ගැටලුවක් පැන නැගිණි. විවිධවූ සාකච්ඡා සහ කරුණු පෙන්වාදීම් මෙන්ම IESL ආයතනය හරහා සහ දේශපාලන අධිකාරිය හරහාද NDES පාඨමාලාව යාවත්කාලීන කිරීමේ වැදගත්කම මේ සියලු පාර්ශ්ව යන්ට නැවත නැවතද පෙන්වා දෙන ලදී. එමෙන්ම NDES පාඨමාලාව Sydney Accord එකට අනුව ගුණාත්මකව සංවර්ධනයට කිසිදු බාධාවක් නොමැති බව ඉංජිනේරු සභාව (Engineering Council) මගින්ද තහවුරුවක් ලබාගැනීමටද අප ක්‍රියාකළෙමු. ඒ අනුව මෙම නඩුව නැවන 2019 අගෝස්තු මස 2 වන දින යළි කැදවනු ඇත. 2019 අගෝස්තු මස 2 වන දින අභියාචනාධිකරණ තීන්දුව මත අප පාඨමාලාවේ අනාගතය තීන්දු වනු ඇත.

මේ දක්වා මෙම දීර්ඝවූත්, වෙහෙසකරවූත් ක්‍රියාදාමයට මුදලින්, ශ්‍රමයෙන් සහ වචනයෙන් හෝ දිරිගැන්වූ ඔබ සැමට අපගේ ගෞරවණීය ආචාරය පුදකරන අතර එය ඔබ සැමගේ අනාගත සාර්ථකත්වයට රුකුලක් වනු දැකීම අපගේ අභිලාෂයයි.

ස්තුතියි,
මෙයට,
දමිත විජේතුංග
ලේකම් – ඉංජිනේරු විද්‍යා ජාතික ඩිප්ලෝමා සහ විශේෂ ඉංජිරු ආධුනික ආදී විද්‍යාර්තිකයින්ගේ සංගමය.