2018 නොවැම්බර් 06

දයාබර NDES සොයුරණි/සොයුරියණි,

පසුගිය දින කිහිපයේ රටතුළ ඇතිවුන දේශපාලන තත්ත්වයන් සහ අප ගත් ක්‍රියාමාර්ගයන්හි  ප්‍රථිපලයක් ලෙස IET ආයතනය සම්බන්දව දැනට ඇති නවතම තත්ත්වය දැන ගැනීමට ඔබ සියලුදෙනා නොඉවසිලිමත්ව බලාසිටින බව අප දන්නෙමු. මේ සම්බන්දයෙන් ඔබ දුරකථනයෙන් සහ සමාජ මාද්‍ය හරහා විමසා තිබු ගැටලුවලට පිළිතුරක් ලෙස මෙම ලිපිය ඉදිරිපත්කරන අතර දීර්ග වුවද අවසානය දක්වා  කියවා කරුණු අවබෝධ කරගනු ඇතැයි සිතමු.

පසුගිය දින කිහිපය තුල ඔබ විමසා සිටි ප්‍රධාන කරුණු දෙක නම්,

  1. රටේ ඇතිවී ඇති තත්ත්වය මත අපගේ අනාගත පියවර කෙසේ වේද යන්න.
  2. 2013 ඩිප්ලෝමා ප්‍රධානෝත්සවය සහ 2014 අවසන් වසර විභාගය පැවැත්වීමත් සමග අපේ ගැටළු නිමාවීද යන්න.

සමහරෙක් විමසා සිටි පරිදි විභාගය සහ ඩිප්ලෝමා ප්‍රධානෝත්සවය පැවැත්වූ පමණින් මේ ගැටළු විසදෙන්නේ නැත. එසේනම් මෙවන් දීර්ග ව්‍යාපාරයක් ආරම්භ කලයුතුද නැත.

එලෙසින්ම වත්මන් NAITA සභාපතිවරයා ඉවත්වූ පසු හෝ ඉවත්කළ පසු මේ ගැටළුව අවසන් වේ යයි අප කිසිසේත්ම විශ්වාස නොකරමු. මන්ද මේ අප අත්විදින්නේ පසුගිය වසර 10-15 පුරාවටම NDES පාඨමාලාවත් එය පවත්වාගෙන යනු ලබන IET ආයතනයටත් ඇතිවූ ගැටළු/ප්‍රශ්න වල කූඨප්‍රාප්තිය පමණක් බැවිනි. NDES පාඨමාලාවටත් IET ආයතනයටත් පසුගිය වසර ගණනාව පුරාම සෑම රජයක්, සෑම අමාත්‍යවරයෙක්, සෑම සභාපතිවරයෙක් යටතේම මෙම ගැටළු විවිධාකාරයෙන් බලපවත්වන ලදී. University college ගැටළුව, IET ආයතනය ගාල්ලේ පිහිටවීම, ශිෂ්‍ය සංඛ්‍යාව එකවර දෙගුණ කිරීම ඉන් කිහිපයක් පමණි. සභාපතිවරු හෝ ඇමතිවරු මාරු වූ පමණින් මේ ගැටළු නිමනොවේ. මන්ද තම පෞද්ගලික අභිමතාර්ථයන් උදෙසා ගතු කියන, සභාපතිවරු නොමග යවන නිලධාරී පැලැන්තිය (IET සහ NAITA දෙකෙහිම සිටින ඉතා සුළු පිරිසක්) මේ සෑම රජයක් යටතේම තම තනතුරු දරන බැවිනි.

IET ආයතනය තුල ගැටලුවලට මුලාරම්භය එහි පසුගිය වසර 10-15 මුළුල්ලේ එහි ප්‍රධානත්වය ඉසුලු හිටපු විදුහල්පතිවරයා බව නොරහසකි. ඔහු පැලකළ විෂබීජ තවදුරටත් එලෙසින්ම පවත්වාගෙන යෑමට වත්මන් පාලනාධිකාරිය කටයුතු කරමින් සිටියි. කණගාටුවටම කරුණ නම් හිටපු විදුහල්පතිවරයා හැරෙන්නට මේ ප්‍රශ්න පිටුපස සිටිනුයේ අපගේම ජේෂ්ඨයන් සුළුපිරිසක් වීමයි. වත්මන් සභාපතිවරයාට ගතුකියා තම පෞද්ගලිකඅභිමතාර්ථය උදෙසා NDES පාඨමාලාවට විණ කටින්නට පිඹුරුපත් සැකසු NAITA නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා අපගේම ජේෂ්ඨයෙකි. NDES පාඨමාලාවට බදවාගැනීම උදෙසා අපොස (සා/පෙ) පමණක් ඇතැයි යෝජනා කරේද ඔහු විසිනි. එමෙන්ම උවමනාවෙන්ම මේ ප්‍රශ්න යටගසමින්/මගහරිමින් තම විදේශ සංචාර/උසස්වීම් සදහා NDES පාඨමාලාවට බිලිදෙමින් IET ආයතනයතුළ කටයුතු කරන පාලනාධිකරණයේ ඉතා සුළු පිරිසද අපගේම ජේෂ්ඨයන්ය. සරලම උදාහරණයක් ගතහොත් ඩිප්ලෝමා ප්‍රධානෝත්සවය කල් දමා BMICH ආයතනයෙන් වෙනත් දිනයක් ලබාගනු වෙනුවට ඔවුන් ළමුන් නොමග යැවුවේ අදාළ ආයතනයට මේ වසර තුල වෙනත් දින නොමැති බවයි. නමුත් අප විසින් BMICH ආයතනය විමසනු ලදුව එවන් දින 3ක් දෙසැම්බර් මසදී ලබාගතහැකිව තිබුණි.

මේ දක්වා අප විස්තර කළේ විශාල ගැටළුවක සංක්ෂිප්තයක් පමණි. දැනට අවසන් වසර විබාගය නැවත පැවැත්වීමට සහ ඩිප්ලෝමා ප්‍රධානෝත්සවය පසුදිනක පැවැත්වීමට කටයුතු යොදමින් යන අතර IET ආයතනයේ borad of studies මගින් එය අනුමතවූ පසු එම දිනයන් නිළවශයෙන් දැනුම් දෙනු ඇත. අප කලින් සදහන් කල පරිදි මේවා පැවැත්වූ පමණින් අපගේ ගැටළු අවසන් නොවේ. ශිෂ්‍ය සංඛ්‍යාව කඩිනමින් දෙගුණ කිරීමේ යෝජනාව වෙනත් අයුරකින් එළිදැක්වීමට මොවුන් කටයුතු කරමින් යන බවට අපහට තොරතුරු ලැබී ඇත. එවන් පසුබිමක වරින්වර මේ ගැටළුවලට පැලැස්තර විසදුම්යොදනවා වෙනුවට ස්ථිර විසදුමක් ලබාගැනීම ඔබ සැමගේ අභිප්‍රාය බව අප තරයේ විශ්වාස කරමු. මෙයට ආරම්භය ලබාගැනීම සදහා සමහරවිටෙක අපට නීතිමය ක්‍රියාවලියකට වුව යොමුවියහැකි බවද දන්වනු කැමැත්තෙමු.

මෙහි අවසන් ස්ථිර විසදුම ලෙස අප දකිනුයේ, IET ආයතනය NAITA ආයතනයෙන් වෙන්වූ පාර්ලිමේන්තු පනතකින් සම්මතවූ වෙනම ස්වාධීන ආයතනයක් ලෙස (CGTTI, NIBM වැනි) හෝ විශ්වවිද්‍යාලයකට අනුබද්ධවූ ආයතනයක් ලෙස (ITUM වැනි) පවත්වාගෙනයාමයි. මෙය ඉතා දුෂ්කරවුත්, වෙහෙසකරවුත්, ඉතා දිගු කාලයක් ගතවන්නාවුත් ක්‍රියාවලියකි. නමුදු NDES පාඨමාලාවට ආදරය කරන ඔබ සැමගේ පැතුම එය බවද ඒ සදහා නොමද සහයෝගය ලබාදෙන බවද අප තරයේ විශ්වාසකරසිටිමු.

ස්තුතියි,
මෙයට,

දමිත විජේතුංග
ලේකම් – ඉංජිනේරු විද්‍යා ජාතික ඩිප්ලෝමා සහ විශේෂ ඉංජිනේරු ආධුණික ආදී විද්‍යාර්තිකයින්ගේ සංගමය.