2019 අගෝස්තු 31,
දයාබර NDES සොයුරනි/සොයුරියනි,

2019 අගෝස්තු මස 02වන දින අභියාචනාධිකරණය විසින් ලබාදුන් ඓතිහාසික නඩු තීන්දුවේ සංක්ෂිප්තය (summary)

  • ඉංජිනේරු තාක්ෂණ ආයතනය තුළ ඉංජිනේරු විද්‍යා ජාතික ඩිප්ලෝමා පාඨමාලාවේ පහසුකම් වැඩි කිරීමෙන් තොරව සහ ජ්‍යාත්‍යන්තර සිඩ්නි ප්ඥක්ප්තියේ (International Sydney Accord) නිර්ණායකයන්ට අනුකුලව අධ්‍යයන සහ අනධ්‍යයන කාර්‍ය මණ්ඩලය වැඩිකිරිමකින් තොරව ශිෂ්‍ය බදවාගැනීම් වැඩිකිරීම හෝ දෙගුණයක් කිරීම නැවත්වීම. (සති අන්ත හෝ සන්ධ්‍යා කාලීන හෝ කවරාකාරයකින් යුතුව උවද).
  • 1985 සැප්තැම්බර් 07 වන දින අංක 887/8 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ දක්වා ඇති නිර්ණායකයන්ට අනුව පහසුකම් වැඩි කිරීමෙන් තොරව සහ අධ්‍යයන සහ අනධ්‍යයන කාර්‍ය මණ්ඩලය වැඩිකිරිමකින් තොරව 2018/2019 වර්ෂවල හෝ ඉදිරියේදී ශිෂ්‍ය බදවාගැනීම් වැඩිකිරීම හෝ දෙගුණයක් කිරීම නැවත්වීම.
  • වසරක් ඇතුළත ඉංජිනේරු විද්‍යා ජාතික ඩිප්ලෝමා පාඨමාලාව ජ්‍යාත්‍යන්තර සිඩ්නි ප්ඥක්ප්තියේ (International Sydney Accord) නිර්ණායකයන්ට අනුකුලව වැඩි දියුණුකිරීම සහ එම සහතිකය ලබාගැනීමට කටයුතු කිරීම.
  • 1990 අංක 20 දරණ තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන පනතෙන් පිහිටුවා ඇති තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ දක්වා ඇති යටිතල පහසුකම්ද ඇතුළත් අවශ්‍යතාවයන් සහ නිර්ණායකයන්ට අනුකුලව ඉංජිනේරු තාක්ෂණ ආයතනය පවත්වාගෙන යෑමට කටයුතු කිරීම.
  • 1990 අංක 20 දරණ තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන පනතේ සහ ජ්‍යාත්‍යන්තර සිඩ්නි ප්ඥක්ප්තියේ (International Sydney Accord) නිර්ණායකයන්ට අනුකුලව ඉංජිනේරු තාක්ෂණ ආයතනය තුළ අධ්‍යයන සහ පුහුණු පාඨමාලාවන් වල සම්මතයන් පවත්වාගෙන යාමට එකගවීම.
  • 2020 වර්ෂයේ සිට ඉංජිනේරු විද්‍යා ජාතික ඩිප්ලෝමා පාඨමාලාව සදහා සිසුන් බදවාගැනීමේ තරග විභාගය ශ්‍රීලංකා විභාග දෙපාර්තුමේන්තුව මගින් පැවැත්වීමට කටයුතු කිරීම.
  • 2019 වර්ෂයේ සිට ඉංජිනේරු විද්‍යා ජාතික ඩිප්ලෝමා පාඨමාලාව සදහා සිසුන් බදවාගැනීමේ තරග විභාගයේදී සිසුන් විසින් ලබාගන්නා ලකුණු ප්‍රමාණයන් කිසිදු වෙනස් කිරීමකින් තොරව IET වෙබ් අඩවියේ පළකිරීම සහ එම ලකුණු සම්බන්ධයෙන් අයදුම්කරුවන්ගේ යම් විරෝධතාවයක් ඇතොත් ඒවා පිළිබදව නිසි පියවර ගැනීමට එකගවීම.
  • ඉංජිනේරු විද්‍යා ජාතික ඩිප්ලෝමා පාඨමාලාව සදහා සිසුන් බදවාගැනීමේ ක්‍රියාවලිය පහත දක්වා ඇති අයුරෙන් පවත්වාගෙන යාමට එකගවීම.
    • අ.පො.ස. (උ/පෙළ) ගණිත අංශයෙන් පමණක් දක්වන කුසලතාවය මත ශ්‍රී ලංකා විභාග දෙපාර්තුමේන්තුව මගින් පවත්වනු ලබන අභියෝග්‍යතා පරීක්ෂණයෙන් සහ සම්මුඛ පරීක්ෂණයෙන් ලබා ගන්නා ලකුණු ප්‍රමාණය මත.
    • සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයේ සභාපතිවරයා ලෙස ඉංජිනේරු තාක්ෂණ ආයතනයේ අධ්‍යක්ෂ/විදුහල්පති වරයා හෝ ඔහු නම් කරණ නියෝජිතයෙකු විය යුතු අතර සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයේ සෙසු සාමාජිකයින් ලෙස කර්මාන්ත ආයතනවල ඉහළ මට්ටමේ තනතුරු දරන්නන් මෙන්ම තෘතීයික හා වෘතිය අධ්‍යාපන කොමිසම, ශ්‍රීලංකා ඉංජිනේරු ආයතනය සහ ශ්‍රීලංකා සංස්ථාගත ඉංජිනේරුවරුන්ගේ ආයතනය නියෝජනය කරන නියෝජිතයින්ගෙන් සැදුම්ලත් මණ්ඩලයක් විය යතුය.
    • අපොස උසස්පෙළ ගණිත අංශයෙන් ඉහළ Z අගයක් සහ බඳවා ගැනීමේ තරඟ විභාගය විශිෂ්ට ලෙස සමත් අයදුම්කරුවන්ට ප්‍රමුඛතාව හිමිවේ.
    • තෝරාගන්නා අයදුම්කරුවන් 80%ක් කුසලතා පදනම මත සහ 20% ක් දිස්ත්‍රික් පදනම මත විය යුතුය.
    • මින් ඉදිරියට බඳවාගන්නා අයදුම්කරුවන්ගේ අවම Z අගය ඉංජිනේරු තාක්ෂණ ආයතනයේ පාලක සභාව (Governing Council) මගින් අදාළ නිර්ණායකයන්ට අනුකුලව තීරණය කළයුතුය.
  • ඉංජිනේරු තාක්ෂණ ආයතනයේ පාලක සභාවට (Governing Council) ඉංජිනේරු විද්‍යා ජාතික ඩිප්ලෝමා සහ විශේෂ ඉංජිනේරු ආධුනික ආදී විද්‍යාර්ථිකයින්ගේ සංගමය නියෝජනය කරමින් වරලත් ඉංජිනේරුවරයකු ඇතුළත් විය යුතුය.
  • සිසුන් බඳවා ගැනීමේදී Z අගය සඳහා ලකුණු 20%, තරඟ විභාගයට ලකුණු 60%, සම්මුඛ පරීක්ෂණයට 20% වශයෙනුත් ජාතික හෝ ජාත්‍යන්තර ජයග්‍රහණ අමතර 10% ලෙස ලකුණු හිමිවිය යුතුය. (මින් ඉදිරියට සිසුන් බදවාගැනීමේ ක්‍රමවේදය විස්තරාත්මකව නඩු වාර්තාවේ දක්වා ඇත).
  • දැනට ක්‍රියාත්මක ඕස්ට්‍රියානු ආධාර ව්‍යාපෘතිය සදහා පහසුකම් සැපයීමටත් එය කඩිනම් කර නියමිත කාලසීමාවට අවසන් කිරීමටත් කටයුතු කළයුතුය. එම ව්‍යාපෘති වාර්තාවට අනුකූලව IET ආයතනය තුළ යටිතල පහසුකම් වර්ධනය, කාර්යමණ්ඩලය බදවාගැනීම සහ සංවර්ධනය කිරීම සහ විෂයමාලාව නවීකරණය කීරීම කඩිනමින් කළයුතුය. එම ව්‍යාපෘතිය නිසි පරිදි අවසන් කළපසු එහි දක්වා ඇති පරිදි බදවාගන්නා ශිෂ්‍ය සංඛ්‍යාව 500ක් දක්වා වැඩිකළ හැක.

මා මුලින් දැන්වූ පරිදි මෙහි දක්වා ඇත්තේ නඩු වාර්තාවේ සංක්ෂිප්තයක් (summarized version) වන අතර ඉංග්‍රීසි භාෂාවෙන් පළකළ ඇති සමස්ත නඩු වාර්තාවද කියවන ලෙසට ඔබගෙන් ඉල්ලීමට කැමැත්තෙමි.

අධික මුදලක් සහ ශ්‍රමයක් වැයකර අප විසින් මේ ලබාගත්තාවූ ජයග්‍රහණය ඓයිතිහාසික මෙන්ම NDES ප්‍රජාවට පමණක් නොව සමස්ත ශ්‍රී ලාංකීය ඉංජිනේරු අධ්‍යාපනයේ ප්‍රගමනය උදෙසා ලබාගත් දැවන්ත පියවරකි. තම අධ්‍යාපනයේ ප්‍රමිතිකරණය වෙනුවෙන් නීතිය හමුවට ගිය ප්‍රථම ප්‍රජාව ලෙස අප ඉතිහාසය තුළ ලියැවෙනවා ඇත. මෙම දුෂ්කරවුත් වෙහෙසකරවුත් ක්‍රියාවලිය තුළ, නම් වශයෙන් සදහන් නොකළද, නොයෙක් ආකාරයෙන් සහය දැක්වූ, වැඩකටයුතු කල ඉතා විශාල පිරිසක්ද මේ පිටුපස නොසිටින්නට අපට මෙය සාර්ථකව අවසන් කරන්නට නොහැකි වනු ඇත. සමස්ත ශ්‍රී ලාංකීය ඉංජිනේරු අධ්‍යාපන ක්ෂේත්‍රයම ඔවුන් කල ඒ අමිල මෙහෙවරට සදා ණයගැති වනු ඇත. අපහට මුදලින් උපකාර කිරීමට මුලිකත්වය ගත් සහ ඒ සදහා මුදලින් දායකත්වය දැක්වූ ඔබ සැමටත් අපගේ ස්තුතියත් ගෞරවණීය ප්‍රනාමයත් පුදකිරීමටද මෙය අවස්ථාවක් කරගනිමි.

ඉහතින් එකගවූ කරුණු ඒ ආකාරයෙන්ම සහ එම කාලසීමාවන් තුළම ඉටුකිරීමට IET සහ NAITA පාලනාධිකාරින් ඇතුළත් එම වගකිවයතු පාර්ශවයන් කටයුතු කරනවා දැයි අප ඔබ සැම අවදියෙන් බලාසිටිය යුතු කාලය එළබ ඇත. එසේම එකගවූ කරුණු ඉටු නොවන්නේනම් එය අධිකරණයට කරන්නාවූ අපහාසයක් ලෙස ඔවුන්ට එරෙහිව නැවත අධිකරණයට යෑමට උවද අප පසුබට නොවන බවද දන්වනු කැමැත්තෙමි.

සියලුම NDES සහෝදර/සහෝදරියනි, සියලු කුමන්ත්‍රණ පරදා අපේ පරපුර රැකගන්න එක්වන්න අප සමග. අපගේ මතු පරපුරටත් NDES පාඨමාලාව සුරකිමු. NDES පාඨමාලාවට සෞභාග්‍යමත් අනාගතයක් උදා කරලමු!.

ස්තුතියි,
මෙයට,
දමිත විජේතුංග
ලේකම් – ඉංජිනේරු විද්‍යා ජාතික ඩිප්ලෝමා සහ විශේෂ ඉංජිනේරු ආධුනික ආදී විද්‍යාර්ථිකයින්ගේ සංගමය.