දයාබර NDES සොයුර සොයුරිය,
අපගේ පාඨමාලාවේ වර්තමානයේ ඇතිව තිබෙන අර්බුදකාරී තත්ත්වය ගැන ඔබව මෙසේ දැනුවත්කර ලීමට අදහස් කළෙමි.

ඉංජිනේරු උසස් අධ්‍යාපනය සම්බන්ධයෙන් අපගේ මතය?

ඉංජිනේරු අධ්‍යාපනය ප්‍රසාරණය කිරීම, මේ මොහොතේ අත්‍යවශ්‍යයෙන්ම සිදුවියයුතු කරුණකි.නමුත් එය සිදුවිය යුත්තේ ගුණාත්මක වත්, දේශීය හා ජාත්‍යන්තර ප්‍රමිතිකරන‍යන්ට අනුකූලවත් බව අපගේ පිළිගැනීමයි. එනම් තෘතීක හා වෘත්තීය පුහුණු කොමිෂන් සභාව (TVEC)යටතේ නියාමනය සහ ජාත්‍යන්තර සිඩ්නි ප්‍රඥප්තිය (Sydney Accord)යටතේ පාඨමාලාව වැඩිදියුණු විය යුතු බව අපගේ පිළිගැනීමයි.

ශිෂ්‍ය සංඛ්‍යාව දෙගුණ කිරීමට විරුද්ධ වූයේ ඇයි?

ශිෂ්‍ය සංඛ්‍යාව ප්‍රමාණාත්මකව දෙගුණ කිරීම සම්බන්ධයෙන් අපගේ විරුද්ධතාවයක් නොමැත. නමුත් එය සිදුවිය යුත්තේ ක්‍රමවත් සැලසුමකින් සහ නියමාකාර නියාමනයකින් පසුවය. එසේ නොවුණහොත් සිදුවන්නේ ජ්‍යත්‍යන්තර රැකියා වෙළඳපොළ තුළ හා ද්විපාර්ශ්වික වෙළෙඳ ගිවිසුම් මගින් ඇතිවන තරඟකාරී දේශීය රැකියා වෙළෙඳපොළ තුළ අපගේ ඩිප්ලෝමාව අවතක්සේරුවට හා අවමානයට ලක්වීමයි.

දැනටමත් NAITA හි අදුරදර්ශී පරිපාලනය නිසාවෙන් IET ආයතනයත් NDES පාඨමාලාවත් ඉතාමත් කනගාටුදායක තත්ත්වයකට ඇද වැටී ඇත. 1985 ආයතනය ආරම්භයේදී සිටි දේශකවරුන් සංඛ්‍යාව වත් දැනට නැත. කිසිම විද්‍යාගාර පහසුකමක් වර්ධනය වී නොමැත. උපකරණ කැඩී ඇති නිසා අත්‍යවශ්‍යම ප්‍රායෝගික පරීක්ෂණ සිදුනොකර පැරණි දත්ත පමණක් ලබාදී, course work කරන්නට සිසුන්ට සිදුවී ඇත. අවම තරමින් වැසිකිලි පහසුකම් හෝ නොමැති තත්වයකට ආයතනය පත්ව ඇත. සිසුන් බදවාගැනීමේ ක්‍රියාවලියද අන්ත දුෂිත මට්ටමකට වැටි ඇත.

බීරි අලින්ට වීණා වැයුම.

මේ සම්බන්ධව විෂය භාර ඇමතිවරුන්ට, නියොජ්‍ය ඇමතිවරයාට, අමාත්‍යාංශ ලේකම් තුමාට, කොමිෂන් සභාවට (TVEC), NAITA ආයතනයට, අග්‍රාමාත්‍ය ලේකම් වරයාට සහ ජනාධිපති ලේකම්වරයාට කරුණු අවබෝධ කිරීම සඳහා දීර්ඝ කාලීන වූත් වෙහෙසකර වූත් උත්සාහයක් ගන්නා ලද නමුත් ඒ සියල්ල බීරි අලින්ට වීණා වැයුමක් විය.

සිසුන් විසින් ද ඉහත ආයතන සියල්ලම දැනුවත් කර නයිටා සභාපතිවරයා සමඟද සාකච්ඡා පවත්වා අසාර්ථක වූ පසු සාමකාමී විරෝධතා ව්‍යාපාරයක් ගෙන ගියෝය. පසුව සිදුවූයේ නයිටා ආයතනය මගින් සිසුන්ගේ විභාගය කඩාකප්පල් කර පළිගැනීමයි.

එයිනිදු නොනැවතී කොමිෂන් සභාව (TVEC) හරහා IET ආයතනය විගණනයකර එහි ගුණාත්මක භාවය රැකගැනීමට උත්සාහ ගන්නා ලද අතර, නයිටා ආයතනය මැදිහත් වී එයද කඩාකප්පල් කරන ලදී.

ඔස්ට්‍රියානු ව්‍යාපෘතිය?

සියලුම ප්‍රශ්න වලට ඒකායන විසඳුම් ලෙස බලාපොරොත්තු වන ඔස්ට්‍රියානු ව්‍යාපෘතියද අපේක්ෂිත අරමුණු කරා ලඟා විය නොහැකි බවට පෙරනිමිති පහළකරමින් සිටී. ඒ සඳහා විවිධ හේතු රාශියක් බලපෑ තිබේ. එම ව්‍යාපෘතිය සාර්ථක වුවද, එයින් ඉඩ කඩ සපිරිය හැක්කේ සිසුන් 550 කට පමණි. ( නිල ඔස්ට්‍රියානු ව්‍යාපෘති වාර්තාව අනුව).

හෙට වෙනුවෙන් අද!

මේ සියලු දුෂ්කර වූත් වෙහෙසකර වූත් ක්‍රියාමාර්ග අසාර්ථක වූ පසු අවසානයේ දී අධිකරණ ක්‍රියාමාර්ගයකට NDES ප්‍රජාව තල්ලු කර දැමීමට ලක් විය. මේ තීරණාත්මක මොහොතේ ශිෂ්‍ය සංගමය (SANDES) සහ අපහට ( NDES & Sp. Eng. App.s’ Alumni) පසක්වුයේ අධිකරණ ක්‍රියාමාර්ගයකින් තොරව මේ අරගලය ජයග්‍රාහී මාවතට ගමන් කිරීමට නොහැකි බවයි. මෙම සටන දිනුවද පැරදුනද, තම ගුණාත්මක අධ්‍යාපන අයිතිය රැකගැනීමට මහපාර වෙනුවට අධිකරණය තෝරාගත් ප්‍රථම ශිෂ්‍ය ව්‍යාපාරය ලෙස අප ඉතිහාසගත වනු ඇත.

මේ සදහා අපගේ කමිටු සාමාජිකයින් තම කාලය හා ශ්‍රමය වැයකර ඒ සඳහා අවශ්‍ය කෙටුම්පත් සකස් කරන ලදී . නමුත් මේ අරගලය ජයග්‍රාහි මාවතකට ගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා ඉතා විශාල මුදලක් වැය වන බව ඔබ සැම දන්නා කරුණකි. ඒ සදහා විශාල මුදලක් ආයෝජනය කරන්න සිදුවුවද වෙනත් විකල්පයක් අපහට නොමැතිවිය, ඒ මන්දයත් ගතයුතු සියලුම වැදගත් ක්‍රියාමාර්ග අප විසින් ක්‍රියාත්මක කර තිබීමයි.

ඒ සඳහා ඔබ සැම කෙරෙහි අප විශ්වාසය තබා ඇත්තෙමු.

එක්වෙමු….. එකමුතුව……. එකාවන්ව…….!!!

ස්තුතියි
මෙයට,
දමිත විජේතුංග
ලේකම්
ඉංජිනේරු විද්‍යා ජාතික ඩිප්ලෝමා සහ විශේෂ ඉංජිනේරු ආධුනික ආදි විද්‍යාර්ථීන්ගේ සංගමය
Mob: 077 2 288 318
Email: contact@ndesalumni.com
Web: www.ndesalumni.com